ඩී. ඩී නිමලසිරි පියාණන්ට සහ ජානකී විතානගමගේ මෑණියන්ට දාව 1992 නොවැම්බර් මස 16 වන දින මෙලොව එළිය දුටු මම “වෙනුර ධනංජය” නම් ඇතිව පවුලේ වැඩිමහල් පුතු විය.  මගේ ළමා කාලයත් සාමාන්‍ය දරුවෙකු ගේ ළමා කාලයෙන් වෙනස් වුනේ නෑ.   නමුත් වසර 14 දී පමණ මට දකින්නට ලැබෙනවා එක්තරා රුවන් වැකියක්. 

“වඩා වැදගත් වන්නේ අනුන් ගැන සෙවීම නොව තමා ගැන සොයා ගැනීමයි” - භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ. 

මෙය මගේ ජීවිතය ගැන මට වෙනස් ම කියවීමක් ඇති කර ගන්නට මඟ පෙන්වූ වැකියක් බවට පත්වුණා.

බුදු දහම... තාඕ දර්ශනය, අදිකාරම් මහතා ගේ ලිපි සහ ක්‍රිශ්ණමූර්ති තුමන්ගේ ඉගැන්වීම් ආදී විවිධ දර්ශනවාද ජීවිතයට එකතු කරගන්නට මේ රුවන් වැකිය මඟ පෙන්වූවා යැයි පැවසුවොත් වරදක් නෑ.  මේ විදියට ජීවිතය තේරුම් ගන්නට සියුම් වෑයමක නිරත වෙමින් සිටින විට අවුරුදු 16 දී පමණ මා ඉතාමත් ලැදියාවකින් සිටි පියාණන්ගේ මව, මගේ ආච්චි මිය යනවා.  ඒ අවස්ථාවේ අත්දැක්ක දුක ජීවිතයේ මා ලැබූ ප්‍රබලතම අත්දැකීමක් බවට පත්වුණා.  ඒ වසරේ දී ම නැඟණිය, මලණුවන් සහ මමත් පමණක් සිටි අපේ පවුලට අලුත් අමුත්තෙක් එකතු වෙනවා.  තවත් නැඟණියක්.  නමුත් සාමාන්‍ය මානසික මට්ටමක් ඇති දරුවෙක් නෙවේ.  සෙමෙන් සෙමෙන් මනස වර්ධනය වන විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ලෙසින් තමයි මේ නැඟණිය අපට ලැබෙන්නේ.  ජීවිතය තේරුම් ගන්නට දැරූ සියුම් උත්සාහයට මේ සෑම කාරණාවක් ම එකින් එක මහා රුකුලක් බවට පත් වෙන්නට හේතු කාරණා සකස් වුණා.

“මහ රහතුන් වැඩි මඟ ඔස්සේ”  නමින් දිවයින පුවත්පතේ පළ වූ ලිපි පෙල මා හට විය යුත්ත මෙය යැයි මඟ පෙන්වූ සෙයකි.  භික්ෂූ ජීවිතය... පැවිද්ද... මේ සියල්ල මාගේ ජීවිතයට එකතු විය යුතු දේවල් බව හදවතේ රැඳෙන්නට වූ බව මට දැනුණි.  නමුත් සාමාන්‍ය පරිදි ලෝකයේ තරුණයෙකු ලෙසින් ප්‍රේමවන්තයාගේ භූමිකාව තුලින් ද ලැබිය යුතු යම් ආශ්වාදයක් වේ නම් ඒවායේ ද හරයක් වේ යැයි සිතීම සාමාන්‍ය දෙයකි. නමුත් ආශ්වාද මාත්‍රයක් වෙනුවෙන් දුක් රැසක් සසර පුරාවට උරුම කර ගත යුතු ද යන පැනයට පිළිතුර සැම විටම  ලැබුනේ “නැත... සසර දුක් රැස අවසන් විය යුතුයි” යන පිළිතුරයි.  සසර දුක උරුම වන සියලු භූමිකාවන් සමු දී උත්තරීතර පැවිද්දට යා යුතු බව දැඩි සේ සිතට දැනුණි.  

“වඩා වැදගත් වන්නේ අනුන් ගැන සෙවීම නොව තමා ගැන සොයා ගැනීමයි” භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ මේ අවවාදය ඔස්සේ ගොස් තමන් ගැන සොයා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ම දැනුණි. 

සසර දුක සහ සසර දුක කෙළවර කල යුතු යැයි ආධ්‍යාත්මික අරගලයක යෙදෙමින් ගත වූ වසර 23 ක කාලයක්... පාසල් සහ විශ්ව විද්‍යාලීය ජීවිත අත්දැකීම් රැසක්... සියල්ලට සමු දී වයස අවුරුදු 24 දී උතුම් පැවිදි දිවියට ඇතුල් වීමට තරම් මා භාග්‍යවන්ත විය.  ඒ මඟ පෙන්වීම ලබා දෙන්නට තරම් කල්‍යාණ මිත්‍ර ඇසුරක් ලබන්නට ද මා භාග්‍යවන්ත විය.  පැවිදි දිවියත් පවුලෙන් ම ලැබෙන දායාදයක් සේ මෙන් විය.

මන්ද කොරතොට රජ මහා විහාරාධිපති වන්දනීය හබරකඩ සෝභිත නා හිමිපාණන් නෑදෑ කමින් මාගේ සීයා විය.  කොරතොට රජ මහා විහාරාධිකාරී වන්දනීය හබරකඩ සුමනසාර හිමියන් නෑදෑ කමින් මාගේ මාමා විය.  පැවිද්ද පවුලෙන් ම ලැබූ උරුමයක් සෙයින් ම විය.  එය ද මා ලැබූ භාග්‍යයක් ම විය.  අවුරුදු 25 දී එනම් 2017 වසරේ දී පැවිදි ගුරු උතුමන් ගේ මඟ පෙන්වීම යටතේ උතුම් පැවිදි උපසම්පදාව ද ලබන්නට තරම් මා භාග්‍යවන්ත විය.

දැන් මා සංඝ සමාජය තුල අතුරුගිරියේ සුබෝධ නම් වේ.  කඩුවෙල කොරතොට රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් බුදු අණට අනුව යමින් වඩාත් වැදගත් වන කාරණය වන “මම සොයන්නෙමි”. 

අති දුලභව ලැබූ සම්බුද්ධ ශාසනය මඟ නො හැර ගෙන උත්තරීතර සම්මා සම්බුද්ධ රත්නය පෙන්වූ තථාගත ශ්‍රී සත්ධර්ම රත්නය අවබෝධයෙන් ආර්ය මහා සංඝ රත්නයට එකතු වීම පිණිස... පැවිදි කිස නිම කිරීම පිණිස මට හැකි උපරිමයෙන් කැපවීම මාගේ ඒකායන අරමුණයි! 

මේ සියල්ල ඔබත් සමඟ බෙදා ගන්නේ ද මා ගැන පැවසීමට නොව... මා ගැන සොයා ගැනීමට මා ඇරඹූ මේ ගමනට එක් රුවන් වැකියක් මා යොමු කලා සේ... මේ මාගේ කතාව ද ඔබට ඔබ ගැන සොයා ගැනීමට රුකුලක් ම වේවා... මහෝපකාර වේවා යන අදහස ඇතිවමය! 

දහසක් දෙනා දහසක් දේ පවසාවි! මේ සටහන ගැන ද බොහෝ දේ පවසාවි.  නමුත් “වඩා වැදගත් වන්නේ අනුන් ගැන සෙවීම නොව තමා ගැන සොයා ගැනීමයි!”  ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැබෑ ශ්‍රාවකයෙක් වීම පිණිස ඔබ ද අප්‍රමාදී වන්නට වෑයම් කරන්න!

අති දුලභ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබමින් මට නිවන් මඟ අප්‍රමාදී වීමට පහසුවක් ලැබෙන්නේ යම් සේ ද ඔබට ද මාගේ නිවන් මඟ තුල මාගේ අත්දැකීම්... මා බෙදා ගන්නා යම් කාරණයක් වේ නම් ඒ සියල්ලමත් අප්‍රමාදී භාවය පිණිස ම හේතු උපකාර වෙත්වා යන අදහස ඇතිව “සුබෝධ ධම්ම” ඔබත් සමඟ බෙදා ගන්නෙමි! 

සත්පුරුෂ දහම් දැක ගන්නට... ආර්ය දහම් දැක ගන්නට... ඔබගේ හදවත් තෙරුවනට විවර වන්නට මේ අංශු මාත්‍ර වූ වෑයම ද අප සැමට ම මහා ආශීර්වාදයක් ම වෙත්වා!!!

මේ මොහොත දක්වාත්... නිවන් පරිපූර්ණව පිරිනිවෙන මොහොත දක්වාත් මා සමඟ අනන්ත සසර පුරාවට එක්ව රැඳුන.. බැඳුන... උපකාර කල නොකල... සියලු සත වෙතට මා සිදු කරන සියලු පුණ්‍ය කුසල ශක්තීන් සසර සුවපත් භාවය පිණිස ම හේතු උපකාර වෙත්වා!!! මේ නිවන් මඟ අංශු මාත්‍ර වශයෙන් හෝ ඉදිරියට තබන පියවරක් පාසා... වැඩෙන ගුණයක් පාසා... සියලු සත වෙත කෘතෝපහාරයක් ම වෙත්වා!!!

- මම අතුරුගිරියේ සුබෝධ හිමි -